Sunday, October 6, 2024

රහස් ඇල්ල

රහස් ඇල්ල



ලෝකයේ බොහෝ රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව සීමිත භූමි ප්‍රමාණයක් සහිත කුඩා දූපතකි. නමුත් එම සීමිත භූමි ප්‍රමාණය තුළ දක්නට ලැබෙන භූගෝලීය හා පාරිසරික විවිධත්වය අසීමිතය.

මහනුවර සිට හෝ මාතලේ සිට ගමන් ආරම්භ කරන විට වත්තේගමට පැමිණ වත්තේගම සිට තේවතු අතරින් වූ මාර්ගයේ විත් පන්විල දෙසට කිලෝමීටර එකහමාරක් පමණ ගමන් කරන විට මාර්ගයේ වම් පසින් රවන් ඔය හරහා ඉදිවූ පාලම අසලින්, ගල් පර්වත අතරින් ගලා හැලෙන සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වන රහස් ඇල්ල දැකගැනීමට හැකිය. මෙය රාස්ස ඇල්ල නමින්ද හඳුන්වන අතර මෙම දිය ඇල්ලේ උස මීටර් 15 ක් පමණ වේ. මේ සුන්දර කුඩා දියඇල්ල හුන්නස්ගිරිය කඳුවැටියෙන් නිර්මාණය වී රවන් ඔයෙන් මහවැලි ගඟට ගලා බසියි. පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේවාලේගම්මැද්ද යන ගම්මානයට මෙම රහස් ඇල්ල දියඇල්ල අයත් වේ.

රහස් ඇල්ල පළමු ඇල්ල හා දෙවන ඇල්ල වශයෙන් කොටස් දෙකකින් යුක්තව ඇද හැලෙන අතර එහි මනස්කාන්ත දර්ශනය මහාමාර්ගයේ සිටම දැකගත හැකිය. ඒ අනුව පළමු ඇල්ල මහා මාර්ගයෙන් ඉහළ පිහිටා තිබෙන අතර දෙවන කොටස මහා මාර්ගයෙන් පහළට වන්නට පිහිටා ඇත. කෙසේ වුවද මෙහි දෙවන කොටසේ දියඇල්ලේ සුන්දරත්වයද මාර්ගයේ සිට නැරඹීම උචිතවේ. පහළට බැසීම අවදානම් සහගත වේ. එසේම මෙය අලංකාර දිය ඇල්ලක් වුවද, දිය ඇල්ල පාමුල ඉතාමත් ගැඹුරු තටාකයක් නිර්මාණය වී තිබේ. සංචාරකයන් මෙම දියඇල්ලේ නෑම නොකළ යුතු බවට ප්‍රදේශවාසීහු කියති. ඊට හේතුව මනරම් රහස් ඇල්ලේ අඳුරු මතකයන් ද සැඟවී ඇති බැවිනි. මෙම දියඇල්ලෙහි පුද්ගලයින් දිය නෑමට ගොස් දියේ ගිලි මිය ගොස් ඇති නිසාය. සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයින් තිදෙනකු හෝ දියේ ගිලී මරණයට පත් වන බව ප්‍රදේශවාසීහු පවසති. ඒ නිසා එහි සුන්දරත්වය පමණක් නැරඹීම සුදුසු වේ. ඊසාන දිග මෝසම් වර්ෂාව සමයන්හි දිය ඇල්ලේ ජල මට්ටම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන අතර එය දරුණු සැඩ පහරක් බවට ද පත්වේ.



රහස් ඇල්ල පිළිබඳව සඳහන් කරන විට එහි ඓතිහාසික පසුබිම් කතාවක් ද ජනප්‍රවාදයේ පවතී. ඒ අනුව මෙම දිය ඇල්ලේ සිට මැදමහනුවර ග්‍රාමය දක්වා රහස් උමගක් ඇති බව ජනප්‍රවාදයේ පවතී. එසේම ඉතිහාසගත කතාවේ මෙසේද සඳහන් වේ. ශ්‍රී ලංකාවේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සතුරු ආක්‍රමණවලින් සැඟවී පලා යන අවස්ථාවේ සැඟවී සිටීමට මෙම දියඇල්ල ඇති ස්ථානයට පැමිණ තිබේ. වර්ෂාව නිසා දියඇල්ලේ දිය පහර ද ඔරොත්තු නොදෙන අන්දමට සැඩවී තිබී ඇත. ඒ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට උමගට ඇතුල් විය නොහැකි වී තිබේ. එම නිසා ඔහුට මැදමහනුවර කරා යෑමට සිදුවී ඇත්තේ ගොඩබිම් මාර්ගය ඔස්සේය. ඒ නිසා රජුට පලා යෑමට පමා වී ඇති අතර මේ හේතුව නිසා රජතුමා සතුරන්ගේ අත්අඩංගුවට පත් වී ඇත. මෙම දියඇල්ල රහස් උමග සඟවාගෙන ඇති නිසා මෙම දිය ඇල්ලට රහස් ඇල්ල යන නම ලැබී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් මතයයි. කෙසේ වුවද මෙසේ සඳහන් වන උමගේ පිහිටීම අදටත් රහසක් බව ගැමියන් ගේ මතය වී ඇත. දිය ඇල්ල අවට ස්වාභාවික පරිසරයේ ඇති පාරිසරික වටිනාකම සුවිශේෂී වේ. ඒ අනුව දුර්ලභ ගනයේ සත්වයින් මෙන්ම දුර්ලභ ගනයේ ශාක වර්ගයන්ද මෙම පරිසර පද්ධතිය තුළ ඇති බව පරිසරවේදින් සිය පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇත.

Thursday, October 3, 2024

මොනරාගල පුංචි නුවරඑළිය - මරගල

 මොනරාගල පුංචි නුවරඑළිය - මරගල Maragala



මොනරාගල මරගල කන්දත්, රිටිගල කන්ද මෙන් අපූරු දේශගුණ ලක්ෂණ සහිත කඳුකරයක්. පහළ දැඩි වියළි දේශගුණයක් පැවතිය ද කඳු මුදුනේ දැකගත හැක්කේ නුවරඑළියට සමාන සිසිල් දේශගුණයක් සහ එම පරිසරයට ගැළපෙන ශාක විශේෂ යි. වියළි කලාපයේ පිහිටියත් තෙත් කලාපයේ ලක්ෂණ සහිත වනාන්තරයක් ද මෙහි පැතිර තිබෙනවා. පවුල් දස දහස් ගණනකට පානීය දිය සපයන ජල උල්පතක් ලෙස ද මරගල වැදගත්.

මොනරාගල නගරයට පිටුපසින් ඉහළ නගින කඳුවැටිය එහි පැමිණ ඇති කාටත් අමතක නොවන දර්ශනයක් බව කිව හැකි යි. මේ කන්දේ මුදුන නිතර මිහිදුමෙන් වැසී පවතින ආකාරයත් මොනරාගල ජනතාවට නම් අමුත්තක් නොවේ.  උප කඳුකර වනාන්තරයක් පිහිටි මේ වියළි කලාපීය වනපෙත තවත්  වටිනා පරිසර පද්ධතියක් බව වැඩි දෙනෙක් නොදන්න කරුණක්. ජෛව විවිධත්වයෙන් පිරුණු මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ 2008 අගෝස්තු මස 01 දින දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් කඳුවැටිය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කන්දේ විශාලත්වය වර්ග කිලෝමීටර් 25ක් පමණ වෙනවා. එය දිගින් කිලෝමීටර් 10ක් පමණ වෙනවා. මරගල කඳුවැටිය මොනරාගල,සියඹලාණ්ඩුව හා මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන ආකාරයට පිහිටා ඇති හුදෙකලා කඳු පන්තියක්. මෙය ලැකසීස්, මොනරකැලේ අලියාවත්ත හා ජිලෝන්ලෙස උප කඳු පන්ති තුනකින් සමන්විත යි. එය මොනරාගල, සිරිගල, ගලබැද්ද හරහා ඇතිමලේ දක්වා විවිධ උස්මට්ටම්වලින් ඇදී යනවා. මෙහි උස ම කඳු මුදුන වන අඩි 2500ක් උස  මරගල පිහිටා තිබෙන්නේ මොනරාගල නගරයට පිටුපසිනුයි.


වැඩි උසකින් යුක්ත නිසා මේ කන්දේ සීත දේශගුණයක් පවතිනවා. මේ නිසා ම ඉංග්‍රීසි පාලනය පැවති කාලේ  මෙහි ජීලෝන් නමින් යුත් වතු සමාගමක් ආරම්භ කර තිබෙනවා. එම  වතු වගාවන් සිදුකොට ඇත්තේ ජී ලෝන් නමැති ඉංග්‍රීසි ජාතිකයා බව යි පැවසෙන්නේ. මේ නිසා ම කන්දටත් ජීලෝන් කන්ද යන නම ලැබී තිබෙනවා. මොනරාගල අවට පිරිස් තවමත් මේ කන්දට භාවිත කරන්නේ ඒ නම යි. එහි නියමු ව්‍යාපෘතියක් ලෙස තේ වගාවත් කරතියෙනවා. තේ වගාකර තිබෙන්නේ කඳු මුදුන අවට බෑවුමෙ යි.

අදත් කැලෑවට යටවුණු විශාල තේ ගස් එහි දැක ගත හැකි යි. පසුව කන්දේ පහළ බෑවුම් ආශ්‍රිත ව රබර් සහ යටි වගාවක් ලෙස කොකෝවා වගා කර තිබෙනවා. ඝන වනාන්තරයක් ලෙස පැවති මරගල වනාන්තර ඉංග්‍රීසි යටත් විජිත කාලයේ අක්කර දහස් ගණනක් එළි කර එසේ වතු වගාවක් බවට පත් කර තිබෙනවා. පසුව තේ වගාව අත්හැර දැමුවත් රබර් වගාව නම් අදත් දැක ගත හැකි යි. මේ කඳුවැටියේ වනාන්තරවලට අමතර ව ජනාවාසත් පැතිර තිබෙනවා. සීතා කන්ද, ගලබැද්ද කන්ද, ඇත්ගල, හබරත්තාගල ආදී කඳු මුදුන් එහි පිහිටා තිබෙනවා.

ඉංග්‍රීසින් තැනූ ජීලෝන් බංගලාව සහ කුමාරවත්ත බංගලාව යන නිවාස දෙකක් ද මෙහි කඳු මුදුනට ආසන්න ව පවතිනවා. පසුගිය කාලයේ කුමාරවත්ත බංගලාව ආශ්‍රිත ව ඌව පළාත් සභාව මඟින් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබුණා.


නුවරඑළියේ වැවෙන මල් වර්ග සමහරක්, එළවළු වර්ග සමහරක් සහ පලතුරු වර්ග ද කුමාරවත්ත බංගලාව අවට ප්‍රදේශයේ සරුසාර ලෙස වැවෙන බව නිරීක්ෂණය කළ හැකියි. ඒ අතරකානේෂන් හා රෝස වැනි මල් වර්ග, රාබු, ගෝවා, ලීක්ස්, බීට් ආදී උඩරට එළවළුත් එහි තිබෙනවා.

මොනරාගල ඔරලෝසු කණුව අසලින් දකුණට දිවෙන පාර ඔස්සේ ගිය විට ජීලොං වතුයායට දිවෙන මාර්ගය හමුවෙනවා. එය අද හඳුන්වන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොනරාගල කුමාරවත්ත නමින්. එම රබර් වතු යාය හරහා පටුපාරක් කඳු මුදුන ආසන්නය දක්වා ඇදී යනවා. තැනින් තැන කම්කරු නිවාස පේළිත් දැකගත හැකියි.

ඒ මාර්ගයේ කිලෝ මීටර් 8ක් වාහනයක දුෂ්කර මඟක ගමන්කර තවත් ටික දුරක් පයින් ගමන් කිරීමෙන් කඳු මුදුනට ළඟා වීමට පුළුවන්. කඳු මුදුනට පහළ ඌවේ සුන්දර දර්ශනයක් දැකගත හැකි යි. මොනරාගල සිට කිලෝ මීටර් 4ක්  දුරින් පිහිටි වැලියාය කනිටු විදුහල අසලින් ගමන් කිරීමෙන් ද මේ කන්දට පැමිණීමේ මාර්ගයක් පවතිනවා.

වියළි කලාපයක් තුළ පිහිටිය ද ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුත් මෙම පාරිසරික කලාපයේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් පිහිටා තිබෙනවා. විවිධ දේශගුණික ලක්ෂණ සහිත වනාන්තර රැසක්, සැවානා තණ භුමි හා සැවනා පතන්බිම් මෙහි දක්නට පුළුවන්.

බදුල්ල, ඉත්තවැල්, කුකුළු වැල්, කටුබොඩ, කළු හබරලිය, ගුරුකීන, හොර මෙහි පැතිරි තෙත් කලාපයේ ලක්ෂණ සහිත ශාක අතරින් කිහිපයක්. ඊට අමතර ව  බුරුත, ගොඩපර, හල්මිල්ල, බුලු, දොඹ, ගල් සියඹලා, ගොරකා ඇතුළු ගස් වර්ගත් වනයේ වැඩී තිබෙනවා. වනයේ තැනින් තැන  වන වගා වශයෙන් කළ පයිනස් වගාවන් ද දකින්න පුළුවන්. මෙම කඳුවැටියේ ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වෙනවා.

අනවසරයෙන් කැලෑ එළිකිරීම මෙන්ම කැලැ ගිනි තැබීමත් මරගල කන්දට ලොකු තර්ජනයක් වෙලා. සෑම අවුරුද්දකම පාහේ වියළි කාලයට මෙහි ගිනිගැනීම් දකින්න ලැබෙනවා.  මේ නිසා වන ජීවින් වගේම ජල මූලාශ්‍රත් අවදානමට ලක්වන බවයි වාර්තා වෙනවා.






Wednesday, October 2, 2024

බෝඹුරු ඇල්ල Bomburu Ella Waterfall

 බෝඹුරු ඇල්ල

 


බෝඹුරු ඇල්ල එසේත් නැතිනම් පේරවැල්ල ඇල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ ඌව - පරණගම ප්‍රාදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම්වලට සමීපව වැලිමඩ  නගරයේ සිට 15km ක් පමණ දුරින් පිහිටා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ඇති පළලින් වැඩිම දිය ඇල්ල ලෙස සැලකේ. පේරවැල්ල ගම්මානයේ සීතාඑළිය කඳපොල රක්ෂිතයේ පිහිටි මෙම සුන්දර දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් ද වේ.

පේරවැල්ල ඇල්ල ලෙස ද ප්‍රසිද්ධ මෙම දිය ඇල්ල උසින් 50m පමණ වන අතර පළලින් එය 20m පමණ වේ. ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසරය චමත්කාර ජනකය. සුන්දර කෙත් වතු සහ තුරුලතා වලින් ගහණය වූ පරිසරයකට උරුමකම් කියන බෝඹුරු ඇල්ලේ ඉහළට මීදුම ගලන විට ඇල්ල තවත් සුන්දරය. මෙය බෝඹුරු ඇල්ල ලෙස හැඳින්වීම පිටුපස ඇත්තේ අපූරු කතාවකි. එකල දෙවන රාජසිංහ රජුගේ ඇතෙකු හා බැඳුණු ජනප්‍රවාදයක් මේ ඇල්ල පිහිටි ගම වටා බැඳී ඇති බව කියැවේ.

 


මහවැලි ගංගාවේ තවත් අතු ගංගාවක් ලෙස සැලකෙන දුල්ගල ගඟ ගල් තලාවකින් කොටස් හතරකට බෙදී ඇද හැලීම තුළින් මෙම දිය ඇල්ල නිර්මාණය වී තිබේ. දිය ඇල්ලෙන් පහළ කොටස උමා ඔය ලෙස හැඳින්වෙන බව ද මූලාශ්‍ර සඳහන් කරයි. අද වන විට බොහෝ සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයක් බෝඹුරු ඇල්ලට ලැබී ඇති නිසා පරිසරයේ සුන්දරත්වය රැක ගැනීම අපගේ වගකීමක් බව අමතක නොකරන්න.