Showing posts with label Mountain. Show all posts
Showing posts with label Mountain. Show all posts

Thursday, October 3, 2024

මොනරාගල පුංචි නුවරඑළිය - මරගල

 මොනරාගල පුංචි නුවරඑළිය - මරගල Maragala



මොනරාගල මරගල කන්දත්, රිටිගල කන්ද මෙන් අපූරු දේශගුණ ලක්ෂණ සහිත කඳුකරයක්. පහළ දැඩි වියළි දේශගුණයක් පැවතිය ද කඳු මුදුනේ දැකගත හැක්කේ නුවරඑළියට සමාන සිසිල් දේශගුණයක් සහ එම පරිසරයට ගැළපෙන ශාක විශේෂ යි. වියළි කලාපයේ පිහිටියත් තෙත් කලාපයේ ලක්ෂණ සහිත වනාන්තරයක් ද මෙහි පැතිර තිබෙනවා. පවුල් දස දහස් ගණනකට පානීය දිය සපයන ජල උල්පතක් ලෙස ද මරගල වැදගත්.

මොනරාගල නගරයට පිටුපසින් ඉහළ නගින කඳුවැටිය එහි පැමිණ ඇති කාටත් අමතක නොවන දර්ශනයක් බව කිව හැකි යි. මේ කන්දේ මුදුන නිතර මිහිදුමෙන් වැසී පවතින ආකාරයත් මොනරාගල ජනතාවට නම් අමුත්තක් නොවේ.  උප කඳුකර වනාන්තරයක් පිහිටි මේ වියළි කලාපීය වනපෙත තවත්  වටිනා පරිසර පද්ධතියක් බව වැඩි දෙනෙක් නොදන්න කරුණක්. ජෛව විවිධත්වයෙන් පිරුණු මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ 2008 අගෝස්තු මස 01 දින දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් කඳුවැටිය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කන්දේ විශාලත්වය වර්ග කිලෝමීටර් 25ක් පමණ වෙනවා. එය දිගින් කිලෝමීටර් 10ක් පමණ වෙනවා. මරගල කඳුවැටිය මොනරාගල,සියඹලාණ්ඩුව හා මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන ආකාරයට පිහිටා ඇති හුදෙකලා කඳු පන්තියක්. මෙය ලැකසීස්, මොනරකැලේ අලියාවත්ත හා ජිලෝන්ලෙස උප කඳු පන්ති තුනකින් සමන්විත යි. එය මොනරාගල, සිරිගල, ගලබැද්ද හරහා ඇතිමලේ දක්වා විවිධ උස්මට්ටම්වලින් ඇදී යනවා. මෙහි උස ම කඳු මුදුන වන අඩි 2500ක් උස  මරගල පිහිටා තිබෙන්නේ මොනරාගල නගරයට පිටුපසිනුයි.


වැඩි උසකින් යුක්ත නිසා මේ කන්දේ සීත දේශගුණයක් පවතිනවා. මේ නිසා ම ඉංග්‍රීසි පාලනය පැවති කාලේ  මෙහි ජීලෝන් නමින් යුත් වතු සමාගමක් ආරම්භ කර තිබෙනවා. එම  වතු වගාවන් සිදුකොට ඇත්තේ ජී ලෝන් නමැති ඉංග්‍රීසි ජාතිකයා බව යි පැවසෙන්නේ. මේ නිසා ම කන්දටත් ජීලෝන් කන්ද යන නම ලැබී තිබෙනවා. මොනරාගල අවට පිරිස් තවමත් මේ කන්දට භාවිත කරන්නේ ඒ නම යි. එහි නියමු ව්‍යාපෘතියක් ලෙස තේ වගාවත් කරතියෙනවා. තේ වගාකර තිබෙන්නේ කඳු මුදුන අවට බෑවුමෙ යි.

අදත් කැලෑවට යටවුණු විශාල තේ ගස් එහි දැක ගත හැකි යි. පසුව කන්දේ පහළ බෑවුම් ආශ්‍රිත ව රබර් සහ යටි වගාවක් ලෙස කොකෝවා වගා කර තිබෙනවා. ඝන වනාන්තරයක් ලෙස පැවති මරගල වනාන්තර ඉංග්‍රීසි යටත් විජිත කාලයේ අක්කර දහස් ගණනක් එළි කර එසේ වතු වගාවක් බවට පත් කර තිබෙනවා. පසුව තේ වගාව අත්හැර දැමුවත් රබර් වගාව නම් අදත් දැක ගත හැකි යි. මේ කඳුවැටියේ වනාන්තරවලට අමතර ව ජනාවාසත් පැතිර තිබෙනවා. සීතා කන්ද, ගලබැද්ද කන්ද, ඇත්ගල, හබරත්තාගල ආදී කඳු මුදුන් එහි පිහිටා තිබෙනවා.

ඉංග්‍රීසින් තැනූ ජීලෝන් බංගලාව සහ කුමාරවත්ත බංගලාව යන නිවාස දෙකක් ද මෙහි කඳු මුදුනට ආසන්න ව පවතිනවා. පසුගිය කාලයේ කුමාරවත්ත බංගලාව ආශ්‍රිත ව ඌව පළාත් සභාව මඟින් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබුණා.


නුවරඑළියේ වැවෙන මල් වර්ග සමහරක්, එළවළු වර්ග සමහරක් සහ පලතුරු වර්ග ද කුමාරවත්ත බංගලාව අවට ප්‍රදේශයේ සරුසාර ලෙස වැවෙන බව නිරීක්ෂණය කළ හැකියි. ඒ අතරකානේෂන් හා රෝස වැනි මල් වර්ග, රාබු, ගෝවා, ලීක්ස්, බීට් ආදී උඩරට එළවළුත් එහි තිබෙනවා.

මොනරාගල ඔරලෝසු කණුව අසලින් දකුණට දිවෙන පාර ඔස්සේ ගිය විට ජීලොං වතුයායට දිවෙන මාර්ගය හමුවෙනවා. එය අද හඳුන්වන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොනරාගල කුමාරවත්ත නමින්. එම රබර් වතු යාය හරහා පටුපාරක් කඳු මුදුන ආසන්නය දක්වා ඇදී යනවා. තැනින් තැන කම්කරු නිවාස පේළිත් දැකගත හැකියි.

ඒ මාර්ගයේ කිලෝ මීටර් 8ක් වාහනයක දුෂ්කර මඟක ගමන්කර තවත් ටික දුරක් පයින් ගමන් කිරීමෙන් කඳු මුදුනට ළඟා වීමට පුළුවන්. කඳු මුදුනට පහළ ඌවේ සුන්දර දර්ශනයක් දැකගත හැකි යි. මොනරාගල සිට කිලෝ මීටර් 4ක්  දුරින් පිහිටි වැලියාය කනිටු විදුහල අසලින් ගමන් කිරීමෙන් ද මේ කන්දට පැමිණීමේ මාර්ගයක් පවතිනවා.

වියළි කලාපයක් තුළ පිහිටිය ද ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුත් මෙම පාරිසරික කලාපයේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් පිහිටා තිබෙනවා. විවිධ දේශගුණික ලක්ෂණ සහිත වනාන්තර රැසක්, සැවානා තණ භුමි හා සැවනා පතන්බිම් මෙහි දක්නට පුළුවන්.

බදුල්ල, ඉත්තවැල්, කුකුළු වැල්, කටුබොඩ, කළු හබරලිය, ගුරුකීන, හොර මෙහි පැතිරි තෙත් කලාපයේ ලක්ෂණ සහිත ශාක අතරින් කිහිපයක්. ඊට අමතර ව  බුරුත, ගොඩපර, හල්මිල්ල, බුලු, දොඹ, ගල් සියඹලා, ගොරකා ඇතුළු ගස් වර්ගත් වනයේ වැඩී තිබෙනවා. වනයේ තැනින් තැන  වන වගා වශයෙන් කළ පයිනස් වගාවන් ද දකින්න පුළුවන්. මෙම කඳුවැටියේ ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වෙනවා.

අනවසරයෙන් කැලෑ එළිකිරීම මෙන්ම කැලැ ගිනි තැබීමත් මරගල කන්දට ලොකු තර්ජනයක් වෙලා. සෑම අවුරුද්දකම පාහේ වියළි කාලයට මෙහි ගිනිගැනීම් දකින්න ලැබෙනවා.  මේ නිසා වන ජීවින් වගේම ජල මූලාශ්‍රත් අවදානමට ලක්වන බවයි වාර්තා වෙනවා.