Showing posts with label Island. Show all posts
Showing posts with label Island. Show all posts

Wednesday, May 31, 2023

පරවි දූපත ( Pigeon Island )

පරවි දූපත ( Pigeon Island )


ත්‍රිකුණාමලය කියන්නේ සංචාරක පාරාදීසයක්. ඉතින් ත්‍රිකුණාමලයට යන ඔයාලට කෝනේශ්වරම් කෝවිල, නිලාවේලි වෙරළ තීරය, මාබල් බීච්, කන්නියා උණුවතුර ළිං, ලංකා පටුන, ත්‍රිකුණාමලය වරාය වගේ ගොඩක් ස්ථාන නරඹන්න පුළුවන්. සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන ත්‍රිකුණාමලයේ තියෙන තවත් එක සුන්දරම ස්ථානයක් තමයි "පරවි දූපත" කියල කියන්නෙ.

නිලාවේලි වෙරළ තීරයේ ඉඳලා කිලෝමීටර එකහමාරක් විතර දුරින් තමයි මේ පරවි දූපත පිහිටලා තියෙන්නේ. මේ පරවි දූපත දෙමළ භාෂාවෙන් හඳුන්වන්නේ "පරාමලේ" කියලා. මේ දූපත පරවියන්ගේ රජදහනක් වන නිසා පරවි දූපත කියලා හඳුන්වනවා. අතීත ජනප්‍රවාදවලට අනුව නම් රජ කාලේ මේ දූපත පරවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ විදියට භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ස්ථානය සංදේශ යවන්න අවශ්‍ය පරවියන් ගාල් කරලා තැබූ තැනක් ලෙස සැලකෙනවා. ඉතින් අදටත් මේ දුපතේ පරවියන් දස දහස් ගාණනක් අපිට දැක බලා ගන්න පුලුවන්.

මේ දූපතේ විශේෂත්වය වෙන්නේ මේක තමයි ලංකාවෙ තියෙන එකම දූපත් ජාතික උද්‍යානය. 1963 දී තමයි මේක අභය භූමියක් ලෙස නම් කරලා තියෙන්නේ. 2003 දී මේ පරවි දූපත ලංකාවේ 17 වන ජාතික උද්‍යානය ලෙස නම් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වියළි කලාපයේ තමයි මේ ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේ. යටත් විජිත කාලේ වෙඩි පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් මේ දූපත භාවිතා කරල තියෙනවා.

මේ දූපතේ විශාල පරවි දූපත සහ කුඩා පරවි දූපත කියලා කොටස් දෙකක් තියෙනවා. විශාල පරවි දූපත පිහිටලා තියෙන්නේ කොරල් පරය ආසන්නයෙ. මේ විශාල පරවි දූපත දිගින් මීටර් දෙසීයක් සහ පළලින් මීටර් සීයක් පමණ වෙනවා. මේ දූපත මුහුදු මට්ටමේ සිට මීටර 44.8 ක උසින් තමයි පිහිටලා තියෙන්නේ. මෙහි කුඩා පරවි දූපත ගල් කොදෙව්වකින් වට වී පවතිනවා. පරවි දූපතේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 යි.

මේ දූපත ආශ්‍රිතව කොරල් විශේෂ 100 ක් විතර තියෙනවා. ඒ වගේම විසිතුරු වර්ගය මසුන් වර්ග 300 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. තව දුර්ලභ ගණයේ මුහුදු ශාක සහ ජීවීන් ආදීන් ද මෙහිදී නැරඹීමේ හැකියාව පවතිනවා. මෙහිදී තනි වශයෙන් මෙන්ම පොකුරට වැඩුණු විවිධ වර්ගයේ කොරල්පර ද දැක ගත හැකියි. තවද හිරිගල් ආරක්ෂා කිරීම සඳහා, විශේෂයෙන් බැඳුණු පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන් පිරිසක් ද  හඳුනා ගන්න පුලුවන්. ගල්පර වලින් ගහනය වූ මෙම පරවි දුපත බොහෝ සංචාරකයින්ගේ ඇස ගැටෙන අතිශය සුන්දර ස්ථානයකි. බාහිර සබඳතා වලින් වෙන්වී නිදහසේ කාලය ගත කරන්න පුළුවන් සුදුසු වාසස්ථානයක් මෙම පරවි දූපත සතු වීම විශේෂත්වයකි. 

ඉතින් ඔයාලත් නැගෙනහිර පැත්තේ සංචාරය කරන්න හිතාන ඉන්නවනම් පරවි දූපත අමතක කරන්න එපා. පරවි දූපතේ සුන්දරත්වය, සොඳුරු බව නෙත් පුරා සිත්පුරා විදගන්න ගමන්ම මේ සුන්දර පරිසරය ආරක්ෂා කරන්නත් වග බලා ගමු.