Tuesday, June 27, 2023

සෙම්බුවත්ත Sembuwatta

සෙම්බුවත්ත

ස්වභාව සෞන්දර්යෙන් අනූන සුන්දර මාතලේ නගරයේ පිහිටි සොඳුරු අසිරිමත් ස්ථානයක් ලෙස සෙම්බුවත්ත හැඳින්විය හැකිය. සොඳුරු පරිසරයේ අසිරිමත් චමත්කාරය විඳින්නට එන සංචාරකයන්ගේ නොමඳ අවධානයට යොමු වන්නේ සෙම්බුවත්ත වැවය. සෙම්බුවත්ත පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇල්කඩුව ප්‍රදේශයේය. 

ඉංග්‍රීසීන් විසින් ලංකාව පාලනය කරනු ලැබූ සමයේදී මෙහි තේ වගාව ආරම්භ කර ඇති අතර වැව පිහිටා තිබෙන භූමි ප්‍රදේශය ඉංග්‍රීසින් එකල පෝලෝ ක්‍රීඩාංගණයක් ලෙස භාවිත කළ බව කියැවේ. සෙම්බුවත්ත වතුයාය ට යාබදව 1949 වසරේදී තේ කම්හලක් ස්ථාපනය කර ඇති අතර ඒ සඳහා විදුලිය ලබා ගැනීමට අවශ්‍ය ටර්බයින කරකැවීම සඳහා ජලය ලබා ගැනීමේ අරමුණින් පෝලෝ ක්‍රීඩාංගණය තිබූ ස්ථානයේ පසු කලෙක වැවක් නිර්මාණය කර තිබේ. මේ වන විට සෙම්බුවත්ත වැව නමින් හැඳින්වෙන්නේ එයයි. 

තේ අස් වැන්න අඩුවීම හේතුවෙන් 1987 වසරේදී කම්හල වසා දමනු ලැබීමෙන් අනතුරුව 1993 වසරේදී ඇල්කඩුව වතුයාය සමාගමක් බවට පත් කරන ලදි. අක්කර 1106 ක විශාලත්වයකින් යුතු වතුයාය 1999 වසරේදී රජයට පවරා ගන්නා ලදි. 2005 වසරේදී වතුයාය භාරව සිටි රැඩ්ලි දිසා නම් වූ වතු අධිකාරිවරයා ගේ සංකල්පයක් අනුව සෙම්බුවත්ත වැව සහ ඒ අවට ප්‍රදේශය නිසි පරිදි නඩත්තු කොට, වැව අවට ගිම්හාන කුටි හා නාන තටාකයක් ඉදිකර මෙම ස්ථානය සංචාරකයන් සඳහා විවෘත කිරීමට කටයුතු කර තිබේ. 

මෙම ප්‍රදේශයට සෙම්බුවත්ත යන නම වැටී ඇත්තේ මෙහි ඇති තේ කම්හල අසල තිබූ ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වූ බවට කියැවෙන පුරාවෘත්තයක් නිසාවෙනි. සෑම පොහොය දිනකම එම රන් සෙම්බුව ජල උල්පතෙන් ඉහළට මතුවී ඇති බවත්, එලෙස මතු වූ අවස්ථාවකදී එකල මෙම තේ වතුයායට අනුයුක්තව සේවය කළ කංකානි මහත්මයා එම සෙම්බුව රැගෙන ඉන්දියාවට පලා ගිය බවත්, පසුව ඔහුගේ පුතු විසින් ජල උල්පත තිබුණු තැන කෝවිලක් සාදා පුද පූජා කටයුතු කර ඇති බවත් සඳහන් වේ. දැනටත් එම කෝවිලේ නටබුන් දැක ගැනීමට හැක. 

නකල්ස් කඳුවැටිය පසුබිම වූ කැලෑ බොක්ක වතුයායෙන් ආරම්භ වන දිය දහරාවෙන් සෙම්බුවත්ත වැව පෝෂණය වේ. එසේම ඝන ෆයිනස් කැලෑවකින් වට වී ඇති වැව අවට පරිසරය අතිශයින් රමණීයය. එසේම සිසිල් දේශගුණයකින් යුක්ත වේ. මෙහි සුන්දරත්වය මතු පරපුරට ද දැක ගනු වස් සංරක්ෂණය කිරීම සෙම්බුවත්ත නැරඹීමට යන ඔබ අප කාගේත් යුතුකමකි.

Monday, June 12, 2023

බඹරකන්ද දියඇල්ල Bambarakanda Falls

බඹරකන්ද දියඇල්ල

ස්වභාව සෞන්දර්යෙන් අනූන රටක ජීවත්වන්නට වාසනාව ලද්දන් වන අපිට මේ ලංකාදීපය කියන්නේ චිත්‍රාගාරයක්. සැතපුමෙන් සැතපුමට රට වටේ ගියත්, රට අභ්‍යන්තරයට ගියත් නෙත් පිනවන දසුනින් අලංකෘත මේ භූමියේ සෞන්දර්ය කියා නිම කරන්නට බැරි තරම්ය. ඉතින් ලංකාවේ තියෙන මේ වගේ තවත් සුන්දරම ස්ථානයක් තමයි බඹරකන්ද දියඇල්ල කියලා කියන්නේ. සුන්දර ලක්මව සිය සේද වන් දිගු දිය දහරා වලින් නහවන අපේ රටේ උසම දිය ඇල්ල වශයෙන් සලකන මේ බඹර කන්ද දිය ඇල්ල කාගේත් ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

මේ මනරම් ආකර්ෂණීය දසුන කොළඹ බදුල්ල මහාමාර්ගයෙන් බෙලිහුල්ඔය පසු කළ විට හමුවන කළුපහන හන්දියෙන් වමට හැරී වීරකෝන් ගම හරහා කි.මී. 5 ක් ගමන් කළ විට දැක ගත හැකිය. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සලකන මෙය බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා තිබේ. බොහෝ සංචාරකයින්ගේ ආකාර්ෂණයට හේතු වූ මේ බඹරකන්ද දිය ඇල්ල උසින් මීටර් 241 කි. වලවේ ග‍ඟේ පිහිටි උසම දිය ඇල්ල ලෙස බඹරකන්ද ඇල්ල නම් දරන අතර මුළු ලෝකයේ ඇති දිය ඇලි අතරින් 48 වැනි ස්ථානය මෙය හිමිකර ගනියි.

මෙම දිය ඇල්ල මුහුදු මට්ටමේ සිට මීටර් 1470 උස කඳුකර මිටියාවතක පිහිටා ඇති අතර හෝර්ටන්තැන්න බෑවුම් ප්‍රදේශයෙන් උපත ලබා වේලි ඔය ජල දහර නිර්මාණය වෙමින් වළවේ ගඟට එක්වී සමනලවැව පෝෂණය කරයිදියඇල්ල මුදුනේ උස්බිමේ සිට නරඹන විට එක් පසෙකින් උඩවළවේ ජලාශය , අනෙක් පසින් තෙත් කලාපීය වැසි වනාන්තරය පැහැදිලි සිතුවමක් සේ දිස් වේ. මේ කඳු පන්තිය අවට ඇති විශාල ගල්වල විශාල වශයෙන් බඹර වද තිබූ බැවින් බඹරගල යන නම පටබැඳි ඇති බව මතයකි. සොබා සෞන්දර්යය වඩාත් තීව්‍ර වී තිබෙනුයේ බඹරගල ඇල්ලට සමීපව ඇති සදාහරිත වනාන්තරය නිසා .

බටහිර ජාතීන් කන්ද උඩරට ආක්‍රමණය කළ කාල වකවානුවේ මෙහි කඳවුරු බැඳ තිබේ. අතීතයේ ගැමි ලාංකිකයන් කන්ද මුදුනේ පඹයන් නිර්මාණය කර තිබුණි. එය සිංහල සටන් කලාවේ එක් ගරිල්ලා උපක්‍රමයක් බව කියැවේ. මෙම ගරිල්ලා ක්‍රමයට රැවටුණු විදෙස් හමුදාව ඔවුන්ගේ පතරොම් අවසන් වන තෙක්ම පඹයන්ට වෙඩි තැබූ බවත් ආයුධ බලයෙන් පිරිහී ගිය විදෙස් හමුදාවට දුනු, ඊතලවලින් පහරදී ඔවුන් පරාජය කිරීමට ගැමියෝ සමත් වූ බවත් පොත්පත් හි සඳහන් වෙයි. තවද අතීතයේ සිටම පැරණි රජවරු සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීමට මෙම ඇල්ල සතු භූමිය තෝරාගත් බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.

කෙතරම් විශාල ජල ධාරාවක් ඇද හැලුණ පොකුණේ රැදෙනුයේ මීටර් 1.5 ක් පමණ ජල ප්‍රමාණයකි. මෙහි තවත් විශේෂත්වයක් වනුයේ අනෙකුත් දිය ඇලි මෙන් අනතුරුදායක නොවීමයි. එබැවින් බාල, මහලු කාට කාටත් එක සේ ඇල්ලේ පහස ලබමින් විනෝද වීමට හැකියාව ඇත. කොස්ලන්ද තානායමේ සිට කි.මී‍. 27 දුරින් මෙන්ම, බෙලිහුල්ඔය තානායමේ සිට කි.මී. 18 දුරින් පිහිටා ඇති දිය ඇල්ලේ ඉහළ කොටසේෆයිනස් ගස්වල ව්‍යාප්තිය බෙහෙවින් චමත්කාරය.

අගෝස්තු මාසය පුරාවට බඹරකන්ද දිය ඇල්ල ආශ්‍රිත පරිසරයේ තදබල සුළං හමන බැවින් මෙම ප්‍රදේශය සුළං තොට නමින් හඳුන්වා තිබූ අතර පසුව මෙය දුල්තොට වී තිබේ. ලංකා දිය ඇලි සංසදය පවසන ආකාරයට බඹරකන්ද ඇල්ල ශ්‍රී ලංකාවේ දිය ඇලි අතර උසින් හිමිවන්නේ පළමු වැනි ස්ථානයයි. ඉතින් ශ්‍රී ලංකා‍වට අනගි සම්පතක් වන මේ බඹරකන්ද ඇල්ලේ සුන්දරත්වය අත්විදින්නට ඔයාලත් එකතු වෙන ගමන් මේ අරුමැසියේ සුන්දරත්වය ආරක්ෂා කරන්නත් අමතක කරන්න එපා...